සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය කෙරෙහි තරුණයින් තුළ උනන්දුව ඇති කිරීම සඳහා පලාලි ගුවන් තොටුපළේ විශේෂ ප්‍රදර්ශන ශාලාවක් ස්ථාපිත කිරීමට ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී තීරණය කරන ලදී.

සිවිල් ගුවන් සේවා අධ්‍යාපනය පිළිබඳව උතුරු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල තරුණයින් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් කිරීමට සහ තරුණයින් අතර මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා පලාලි ගුවන් තොටුපළේ විශේෂ ප්‍රදර්ශන ශාලාවක් ස්ථාපිත කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති උසස් මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමකදී තීරණය කරන ලදී.

වරාය සහ සිවිල් ගුවන් සේවා පිළිබඳව උතුරු පළාතේ තරුණයින් තුළ දැනුවත්භාවය ඇති කිරීමේ ව්‍යාපෘතිය නැවත නිලවශයෙන් දියත් කිරීමේ වැටසඩහන් ඊයේ (2026.02.19) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අනුර කරුණාතිලක, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහනේ පිළිගැනීමේ කතාව පවත්වමින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරතුමා, සිවිල් ගුවන් සේවා අංශය සම්බන්ධයෙන් උතුරු පළාතේ තරුණ තරුණියන් අතර දැනුවත්භාවය ඇති කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් රජයට සහ අමාත්‍යවරයාට කෘතඥතාව පළ කළේය. මෙය උතුරට ඉතා අවශ්‍ය ව්‍යාපෘතියක් බව පෙන්වා දුන් එතුමා, මෙම අංශයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා පිළිබඳව තරුණ තරුණියන්ට පුළුල් දැනුවත්භාවයක් ලබා දීම සඳහා පළාත් පරිපාලනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය. පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීම සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම උතුරේ ජනතාවගේ විශාලතම අපේක්ෂාවන් බව ද එතුමා පැවසීය.

සිය ආරම්භක දේශනයේදී අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම ඉතා වැදගත් අවස්ථාවක් බවයි. මෙම අංශය පිළිබඳ දැනුවත්භාවය තරුණයින් අතර අඩු බව පෙන්වා දුන් එතුමා, සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට අද්විතීය ස්ථානයක් හිමි වන බවත් ඒ හා සම්බන්ධ රැකියා අවස්ථා බහුල බවත් පැවසීය. මෙම තොරතුරු උතුරේ සෑම අස්සක් මුල්ලක් නෑරම තරුණ තරුණියන් වෙත ළඟා විය යුතු බවත්, සාම්ප්‍රදායික රැකියාවලින් ඔබ්බට මෙම අංශයට අදාළ අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. ඊට අමතරව, ආණ්ඩුකාරවරයා සඳහන් කළ පරිදි, පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටින අතර, ඉන්දීය රජයේ ඩොලර් මිලියන 63.5 ක මූල්‍ය ආධාර යටතේ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉක්මනින් ගිවිසුම අත්සන් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ගරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ, පවතින අධ්‍යාපන ක්‍රමය සහ එවැනි රැකියා අවස්ථා අතර පරතරය අනාගතයේ දී අඩු කළ යුතු බවත්, ඉදිරි වසර 10 තුළ මෙම අංශය සඳහා ඇති ඉල්ලුම වර්තමාන ඉල්ලුමට වඩා තුන් ගුණයකින් වැඩි වනු ඇති බවත්ය.

සිවිල් ගුවන් සේවා අංශයේ අධ්‍යාපනය කොළඹට පමණක් සීමා වී ඇති බවත්, එය ආර්ථික වශයෙන් යහපැවැත්ම සඳහා පමණක් බවත්, සමාජයේ සියලුම කොටස්වලට මෙම අංශයට ඇතුළු වීමට අවස්ථාව ලබා දිය යුතු බවත් සමාජයේ පවතින මානසිකත්වය වෙනස් කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කර ඇති බව අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා සිය කතාවේදී පැවසීය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින්, රජයේ මැතිවරණ වාර්ථා ප්‍රකාශනයේ දී දුන් පොරොන්දුවකට අනුව මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ නැවත ආරම්භ කර ඇති බව පැවසීය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දේශීය ගුවන් සේවා පර්යන්තයක් ඉක්මනින් විවෘත කරන බව ද එතුමා නිවේදනය කළේය.

ඉන්අනතුරුව පැවති විවෘත සාකච්ඡාවේදී කතා කරමින්, යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පති ඊ. සෙන්තිල්මාරන් මහතා තම පාසලේ සිවිල් ගුවන් සේවා කර්මාන්ත සමාජයක් ආරම්භ කර ඇති බව පෙන්වා දුන්නේය. මෙම ක්ෂේත්‍රයේ අධ්‍යාපනය තුළින් ලබා ගත හැකි රැකියා වර්ග, මෙම අධ්‍යාපනය තෝරා ගන්නේ කොහේද සහ කෙසේද සහ ඒ සඳහා සුදුසුකම් මොනවාද යන්න පිළිබඳව සිසුන් අතර පැහැදිලි බවක් නොමැති බැවින් පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපාරවල අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. උතුරේ තරුණ තරුණියන්ට කිසිදු බාධාවකින් තොරව එවැනි අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී විය හැකි වන පරිදි උතුරේම මෙම අධ්‍යාපන පාඨමාලා ආරම්භ කිරීම වඩාත් සුදුසු බව ද ඔහු යෝජනා කළේය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා අදහස් දක්වමින් දෙමළ ඩයස්පෝරාවේ ආයෝජනයෙන් සිවිල් ගුවන් සේවා අංශයට අදාළ අධ්‍යාපන කටයුතු සිදු කරන විද්‍යාලයක් උතුරු පළාතේ පිහිටුවීමට ගරු ආණ්ඩුකාරතුමා පියවර ගත හැකි බව පැවසීය. යුධ සමයේ මතකයන් තවමත් උතුරු පළාතේ දෙමාපියන්ගේ සිත් තුළ ගැඹුරින් තැන්පත් වී ඇති බැවින්, මෙම ක්ෂේත්‍රය පිළිබඳ තරුණ තරුණියන් තුළ උනන්දුව සහ විශ්වාසය ඇති කිරීමට පියවර ගැනීම අවශ්‍ය බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සු. කපිලන් මහතා පැවසීය. පලාලි ගුවන්තොටුපළ සිවිල් බවට පත් කිරීමෙන් තරුණයින්ට පහසුවෙන් නැරඹීමට පහසුකම් සැලසීමට ද ඔහු ඉල්ලා සිටියේය.

සාකච්ඡාව අවසානයේ, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා මෙම අධ්‍යාපනය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම, මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් ඇති කිරීම සඳහා පලාලි ගුවන්තොටුපළේ ප්‍රදර්ශන කාමරයක් ස්ථාපිත කිරීම සහ අනෙකුත් දැනුවත් කිරීමේ කටයුතු ක්‍රමයෙන් හා අඛණ්ඩව සිදු කිරීම තීරණය කරන ලදී.

මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, යාපනය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නියෝජිතයෙකු, ජාතික ආධුනිකත්ව හා වෘත්තීය පුහුණු අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන්, යාපනය උසස් තාක්ෂණ ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව, සිසුන් ඇතුළු වෙනත් අය ද සහභාගී වූහ.