ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ගරු ආණ්ඩුකාරවරයා අතර විශේෂ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා අතර විශේෂ ඉහළ පෙළේ සාකච්ඡාවක් අද අඟහරුවාදා (2026.03.24) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සාකච්ඡාව ආරම්භයේදී ආණ්ඩුකාරවරයා විසින් පළාතේ වත්මන් තත්ත්වය සහ ප්‍රමුඛතා අවශ්‍යතා පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලදී. ආර්ථික සංවර්ධනය, ඉඩම් ගැටලු, පරිසරය සහ දේශගුණික විපර්යාස මෙන්ම ඔරොත්තු දෙන ජීවනෝපායන් යන ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගනිමින් ආණ්ඩුකාරවරයා සිය අදහස් දැක්වීය.

විශේෂයෙන් ඉඩම් ගැටලු සම්බන්ධයෙන් පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, “පසුගිය යුද වාතාවරණය හේතුවෙන් බොහෝ පිරිසකගේ ඉඩම් ලේඛන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. දැනට ජනතාව සතුව හෝ රජයේ දෙපාර්තමේන්තු සතුව ඒ පිළිබඳ වාර්තා නොමැත. මේ හේතුවෙන් ජනතාව තම ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකිව ගැටලුවලට මුහුණ දී සිටිති. මෙම ගැටලුවලට විසඳුම් පතා ජනතාව දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාල වෙත පැමිණෙති. එබැවින් ඔවුන්ගේ ඉඩම් ආරවුල් කඩිනමින් විසඳා අදාළ ඉඩම් හිමිකම් ලබා දීම අපගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි. මේ සඳහා රජය දැනටමත් ‘හිමිකම්’ වැඩසටහන ද ආරම්භ කර ඇත,” යනුවෙන් පැවසීය.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නංවාලීම, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ‘ඒකල කවුළු’ (Single Window) ක්‍රමවේදයක් සකස් කිරීම, ඉඩම් නිදහස් කිරීම සහ ආරවුල් විසඳීම සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීම සහ හරිත දේශගුණික අරමුදල (Green Climate Fund) වැනි ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගය පළාතට අත්‍යවශ්‍ය බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා, උතුරු පළාතේ පවතින සුවිශේෂී සංවේදීතාවන් සහ අභියෝග ගරු ආණ්ඩුකාරවරයා ඉතා සූක්ෂ්ම ලෙස හසුරුවන ආකාරය අගය කළේය. මෑතකදී ඇති වූ ගංවතුර ආපදාවේදී රජය සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඉටුකළ කැපී පෙනෙන සේවය ඔහු ඇගයීමට ලක් කළේය.

රජයේ සහන වැඩසටහන්වලට සමාන්තරව, යුනිසෙෆ් (UNICEF) වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හරහා වඩාත් පීඩාවට පත් කණ්ඩායම්, විශේෂයෙන්ම තනිව ජීවත් වන මව්වරුන්, ආබාධිත පුද්ගලයින් සහ වතු දෙමළ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කඩිනම් සහන සැලසූ ආකාරය ද ඔහු පෙන්වා දුන්නේය.

ආර්ථික අර්බුදය සහ ගෝලීය තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සෘජු මූල්‍ය ආධාර දැනට බෙහෙවින් සීමා වී ඇති බවයි. කෙසේ වෙතත්, හරිත දේශගුණික අරමුදල, හානි සහ අලාභ අරමුදල (Loss and Damage Fund), ණය හුවමාරු (Debt Swaps) සහ පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගත හැකි සංවර්ධන බැඳුම්කර වැනි නව මූල්‍ය ක්‍රමවේද හරහා උතුරු පළාතට උපරිම සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ඔහු සඳහන් කළේය.

තවද, “කොළඹ සිටින උතුරු පළාතේ තානාපතිවරයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ව හඳුනා ගන්නා” බව පැවසූ ඔහු, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතනවල ආයෝජන උතුරට ආකර්ෂණය කර ගැනීමට දිගටම පෙනී සිටින බවට ද පොරොන්දු විය.

ආයෝජකයින් උතුරු පළාතට ආකර්ෂණය කර ගැනීමට බාධාවක් වී ඇති දැඩි නිලධාරිවාදී ක්‍රියාපටිපාටීන් සහ අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කාර්යක්ෂම ඒකල කවුළු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. එමෙන්ම, රජයට සහ පළාත් සභාවට වෙන් කරනු ලබන ප්‍රතිපාදන කඩිනමින් වැය කිරීමට සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වේගවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව පැවසීය.

ආණ්ඩුකාරවරයා පෙන්වා දුන් ඉඩම් ආරවුල්, ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලීන් සහ සංහිඳියාව පදනම් කරගත් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ද පූර්ණ සහාය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුකාරවරයාගේ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයාගේ දේශනවලින් අනතුරුව පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරු, තම දිස්ත්‍රික්කවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳව විස්තරාත්මකව කරුණු දැක්වූහ. එලෙසම කිලිනොච්චි දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ද තම දිස්ත්‍රික්කයේ පවතින විවිධ ඉඩම් ආරවුල් පිළිබඳව පැහැදිලි කළාය.

අවසානයේ අදහස් දැක්වූ උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරයා, පළාත තුළ ඉඩම් ලේඛන ලක්ෂ 2ක් පමණ හැසිරවීමට සිදුව ඇති බව පෙන්වා දුන්නේය. දැනට සිටින සීමිත කාර්ය මණ්ඩලය යොදා ගනිමින් නියමිත කාල සීමාවක් තුළ මෙම කාර්යය නිම කිරීම සඳහා සේවයේ නියුතු නිලධාරීන්ට විශේෂ දිරිගැන්වීමේ දීමනා ලබා දීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

මෙම ඉහළ පෙළේ සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන), දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ඉඩම් කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ විවිධ නියෝජිතායතනවල නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.