මුලතිව් දිස්ත්‍රික්කයේ වැදගත්ම පාලම වන වට්ටුවාගල් පාලම වසර දෙකක් ඇතුළත සංවර්ධනය කරන බව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ වට්ටුවාගල් පාලම සංවර්ධනය කිරීමේ ආරම්භක උත්සවය අද අඟහරුවාදා (2025.09.02) වට්ටුවාගල් හිදී පැවැත්විණි.
රුපියල් කෝටි 140 ක වියදමින් මෙම පාලම ඉදිකරනු ලැබේ. මංතීරු දෙකකින් යුත් මාර්ගයක් ලෙස ඉදිකරනු ලබන මෙම පාලමේ සංවර්ධන කටයුතු හෙට සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා පැවසීය.
පාලම ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ නාම පුවරුව අතිගරු ජනාධිපතිතුමා විසින් නිරාවරණය කිරීමෙන් පසු වේදිකා උත්සව පැවැත්විණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලගනාදන්, ගරු අමාත්‍යවරුන් වන ඊ. චන්ද්‍රසේකර් සහ බිමල් රත්නායක යන මහත්වරු දේශන පැවැත්වූහ. අවසානයේ අතිගරු ජනාධිපතිතුමා සිය කතාව පැවැත්වීය.
මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන්, නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංගුමාරන්, එම්. ජගතීස්වරන්, ටී. රවිකරන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් සහ අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී වූහ.