ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගරු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වේ.

උතුරු පළාතේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ජාතික මට්ටමට සමගාමීව ගොඩනැගීම සහ පළාතේ ගොවීන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් යුත් අතිවිශේෂ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25.03.2026) බදාදා පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වික්‍රමාරච්චි මහතා ප්‍රමුඛ ඉහළ මට්ටමේ කණ්ඩායමක් සහ උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වූ මෙම සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් ඉතා ඵලදායී අයුරින් පැවැත්විණි.

මෙහිදී පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග, අනාගත සැලසුම් සහ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දැක්වූ ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා, උතුරු පළාත් ගොවීන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග පෙන්වා දුන්නේය.

“දේශගුණික විපර්යාස, අක්‍රමවත් වර්ෂාපතනය, ගංවතුර සහ දීර්ඝ නියඟය අපේ ගොවීන්ගේ වගා දින දර්ශනයට විශාල බලපෑමක් එල්ල කර තිබේ. එසේම පොල් වගාවට වැළඳෙන සුදු මැස්සාගේ හානිය සහ කෙසෙල් වගාවට වැළඳෙන පැනමා රෝගය වැනි නව රෝගාබාධ හේතුවෙන් ගොවීන්ගේ අස්වැන්න අහිමි වෙමින් පවතී.

මෙයට විසඳුමක් ලෙස ජෛව විද්‍යාත්මක පාලන ක්‍රම සහිත ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය අප ක්‍රියාත්මක කළ යුතුය. නියඟයට ඔරොත්තු දෙන බෝග වර්ග හඳුන්වා දිය යුතු අතර ගොවීන්ගේ ශක්තිය වැඩි කිරීම සඳහා ගොවි සංවිධාන ශක්තිමත් කළ යුතුය.

එසේම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අගය එකතු කළ නිෂ්පාදන, සිසිල් ගබඩා සහ කෘෂිකාර්මික සැකසුම් කලාප ඇති කළ යුතුය. මෙය සාක්ෂාත් කරගත හැක්කේ ජාතික සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අතර පවතින මනා සම්බන්ධීකරණය හරහා පමණි.

මෙම රැස්වීම හුදු සාකච්ඡාවකට පමණක් සීමා නොවී, වගකීම් සහ කාලසීමාවන් සහිත පැහැදිලි වැඩපිළිවෙලක් බවට පත්විය යුතුය,” යැයි ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වික්‍රමාරච්චි මහතා, “අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන සහ පළාත් වැඩසටහන අතර පවතින පරතරය අවම කිරීමයි. උතුරු පළාත් ගොවීන්ගේ කැපවීම සහ පළාතේ පවතින කෘෂිකාර්මික සම්පත් අතිමහත්ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගැනීම සඳහා ඉදිරියේදී සිදු කිරීමට නියමිත පත්වීම්වලදී උතුරු සහ නැගෙනහිර පළාත්වලට පූර්ණ ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත. එසේම කොන්ත්‍රාත් පදනමින් හෝ පුරප්පාඩු පුරවා සේවාවන් කඩිනම් කිරීමට පියවර ගන්නා බවට,” ඔහු සහතික විය.

තවද, ජාතික කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ “කුළුණු අටේ” (Eight Pillars) වැඩසටහන යටතේ උතුරේ කෘෂිකර්මාන්තය නගාසිටුවන ආකාරය පිළිබඳව පළාත් අධ්‍යක්ෂවරයා විසින් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

උතුරු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාව මගින් පළාතේ ගොවි පවුල් 1,49,136 කගේ ජීවනෝපාය නගාසිටුවීම සඳහා පවතින අවශ්‍යතා පෙන්වා දෙන ලදී. විශේෂයෙන් කෙසෙල් පැනමා රෝගය, වැල් දොඩම් මැලවීමේ රෝගය, පාර්තීනියම් වල් පැලෑටිය, පොල් සුදු මැස්සා සහ වී වගාවේ වල් වී වැනි තර්ජනවලට මුහුණ දීම සඳහා “ජෛව පාලන ඒකක” පළාත තුළ ස්ථාපිත කිරීම, යාපනයේ අර්තාපල් වගාව දිරිමත් කිරීම සහ “පටක රෝපණ” (Tissue Culture) රසායනාගාර පිහිටුවීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී.

සාකච්ඡාවේදී ගනු ලැබූ වැදගත් තීරණ:
* ආට්ටක්කාරි වී වර්ගය: යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල බහුලව වගා කරන සම්ප්‍රදායික “ආට්ටක්කාරි” වී වර්ගය සඳහා මෙතෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල නිර්දේශය නොමැති වීම හේතුවෙන් ගොවීන්ට සහතික මිලක් සහ රක්ෂණාවරණ ලබා ගැනීමේදී ගැටලු පැවතිණි. මෙයට විසඳුමක් ලෙස එම වී වර්ගය “ප්‍රාදේශීය වී වර්ගයක්” ලෙස කඩිනමින් නිර්දේශ කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟ විය.

* ශාක නිරෝධායන මධ්‍යස්ථාන: උතුරු පළාත හරහා සිදු කරන අපනයන දිරිමත් කිරීමට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය කේන්ද්‍ර කරගනිමින් “ශාක නිරෝධායන කාර්යාලයක්” පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය විය. විශේෂයෙන් ඉන්දියාවේ සිට ගෙන්වන කෙසෙල් පැල හරහා රෝග පැතිරීම වැළැක්වීමට රේගු නිලධාරීන් සමඟ එක්ව දැඩි නිරීක්ෂණ කටයුතු සිදු කිරීමටද තීරණය විය.

* බීජ පරීක්ෂණ රසායනාගාර:
බීජ සහතික ලබා ගැනීම සඳහා බීජ දකුණට යවා මාස ගණන් බලා සිටින තත්ත්වය වෙනස් කිරීමට, උතුරු පළාත තුළම “බීජ පරීක්ෂණ රසායනාගාර” කඩිනමින් පිහිටුවීමට පියවර ගැනේ.

* තරුණ ආකර්ෂණය:
තරුණයින් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා පරන්තන් සහ වවුනියාව කෘෂිකර්ම විද්‍යාලවල ඩිප්ලෝමා පාඨමාලා පුළුල් කිරීම, 4% ක සහන පොලී ණය ක්‍රම ලබා දීම සහ භාවිතයට නොගත් රජයේ ඉඩම් තරුණ ගොවි ව්‍යවසායකයින්ට ලබා දීම පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡා විය.

* අනවසර රසායනික ද්‍රව්‍ය: වෙළඳපොලේ ඇති අනවසර සහ කල් ඉකුත් වූ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවිය දැඩි ලෙස පාලනය කිරීමටත්, එවැනි කටයුතුවල නිරත වන වෙළඳසැල්වල ලියාපදිංචිය වහාම අවලංගු කිරීමටත් අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.