උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය 50% දක්වා වැඩි කරනවා – තෛපොංගල් උත්සවයේදී ආණ්ඩුකාරතුමා පවසයි.

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක් ආරම්භය සනිටුහන් කරමින් තෛපොංගල් දිනය 2019 ජනවාරි 15 වන දින උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සමරනු ලැබිණ. එම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයින් පැමිණ සිටි අතර සියලුම ආගමික නායකයින් ආණ්ඩුකාරතුමාටත් සියලු දෙනාටත් ආශිර්වාද එකතු කළේය.

මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කළේ උතුරු පළාතේ දැනට ගුරු සේවයේ  සහ හෙද සේවයේ පමණක් කාන්තා නියෝජනය වැඩි වශයෙන් පවතින බවත් එය වසර 2020/21 වන විට උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය 50% දක්වා වැඩි කිරීමට බලාපොරොතු වන බවත් ඒහා සම්බන්ධ වැඩකටයුතු ක්ෂණිකව ආරම්භ කරන බවත්ය.

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංගෝවන් මහතා ඇතුළු රාජ්‍යය නිලධාරීන්,ආණ්ඩුකාර කාර්යාලයේ සියලුම සේවකයින් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

තෛපොන්ගල් දිනය වෙනුවෙන් යාපනය හින්දු විද්‍යාලයේ පැවති සංස්කෘතික පෙලපාලිය ආරම්භ කිරීමේ විධානය දීමටද ආණ්ඩුකාරතුමා සහභාගි විය.