උතුරු පළාතේ භාෂා ගැටළුව සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකිරීමට ආණ්ඩුකාරතුමා විසින් කමිටුවක් පත් කරන ලදි

උතුරු පළාතේ රාජ්‍ය ආයතන වල දක්නට ලැබෙන භාෂා ගැටළු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර අදාළ කටයුතු සිදුකිරීමට යාපනය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි පත් කර ඇත.

එළඹෙන අප්‍රේල් මස 09 වන දිනට ප්‍රථම උතුරු පළාතේ සියළුම රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන තුළ ත්‍රීභාෂා ප්‍රතිපත්තිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා විසින් කරන ලද උපදෙස් පරිදි එම කටයුතු අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන වල ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා සහය ලබා දීම සඳහා මෙම භාෂා කමිටුව ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි පත් කර ඇත.

මේ යටතේ මෙම භාෂා කමිටුවේ සභාපති වශයෙන් යාපනය විශ්වවිද්‍යාල භාෂා අධ්‍යයනයේ ඉංග්‍රීසි ක්ෂේත්‍රයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ස්වාමිනාදන් විමල් මහතා පත් කර ඇති අතර මෙම කමිටුවේ සාමාජිකයින් වශයෙන් පලාලි ගුරු පුහුණු අධ්‍යාපන ආයතනයේ හිටපු විදුහල්පති එස්. පත්මනාදන් මහතා, කෝපායි ගුරු පුහුණු අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය විදුහල්පති එස්. ලලීසන් මහතා, යාපනය ඔස්මානියා විද්‍යාලීය විදුහල්පති මොහෛදීන් හනී සේහු රායිත්තු මහතා, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (දෙවන භාෂාව) සුදර්ෂි ප්‍රනාන්ඩෝ හපුකොටුව මහත්මිය යනාදිවරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමා විසින් පත් කරනු ලැබිණ.

මේ අනුව උතුරු පළාතේ රාජ්‍ය ආයතන වල භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු සම්බන්ධයෙන් මෙම කමිටුවට වාර්තා කර අදාළ උපදෙස් හා විසඳුම් ලබා ගත හැකිය. එමෙන්ම මේ සම්බන්ධ පැමිණිලි, ඉල්ලීම් සහ යෝජනා ඇත්නම් එය සභාපති, භාෂා කමිටුව, ආණ්ඩුකාර කාර්යාලය, පැරණි උද්‍යානය, නුවර පාර, චුණ්ඩික්කුලි, යාපනය නැමති ලිපිනයට නැතහොත් 021 221 9374 නැමති ෆැක්ස් අංකයට යොමු කළ හැකිය.