උතුරු පළාතේ තාවකාලික රාජකාරී කරන 388 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

උතුරු පළාතේ තාවකාලික, ආදේශක, අනියම් සහ දෛනික වැටුප් පදනමින් සේවය කරන 388 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මාගෙන් ඉල්ලීමක් කරන ලදි.
ගරු ආණ්ඩුකාර තුමිය මෙම ඉල්ලීම කරන ලද්දේ අද (2024.03.07) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය කරන 67 දෙනෙකුට සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති ඒකකවල සේවය කරන 321 දෙනෙකුට මෙලෙස ස්ථිර පත්වීම් ලබාදිය යුතු බව ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
එමෙන්ම හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවලට අනුයුක්ත පුද්ගලයන්ට ස්ථීර පත්වීම් ලබාදිය යුතු බවත්, ඔවුන්ගේ පළපුරුද්ද සහ දෙපාර්තමේන්තු කුසලතා සහ දැනුම තුළින් ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි තත්ත්වයන්ට මුහුණදීමට හැකිවන බවත් ගරු ආණ්ඩුකාරතුමිය අග්‍රාමාත්‍යවරයාට පැවසීය.
තාවකාලිකව සේවයට බඳවා ගත් පිරිස ස්ථිර පත්වීම් ලබා ගැනීමට බලා සිටින බව ගරු ආණ්ඩුකාරතුමිය විසින් ඔවුන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් ඉල්ලීම් ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර විශේෂ යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙසට ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය.

ඒ අතරම, රැකියා ලක්ෂයක පදනම මත ලබාදුන් නිලධාරීන්ගේ පත්වීම් උතුරු පළාතේ සම්පූර්ණයෙන් පුරවා නොමැති බවද ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.
මේ නිසා උතුරු පළාතේ අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල තරුණ තරුණියන්ගේ පුරප්පාඩු පවතින බවද මෙම පුරප්පාඩු පුරවා යහපත් රාජ්‍ය සේවයක් ලබාදීමට අවශ්‍ය ලේඛන සම්පාදනය කරන ලෙසද ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය.
එහිදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ ඉල්ලීම් ලිපිය ලබාගත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් කඩිනමින් ලබාදෙන බවට මෙහිදී පොරොන්දු විය.