උතුරු පළාත් සෞඛ්‍ය සේවා සහායකයින් බඳවා ගැනීම සඳහා නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවිය යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාතේ  සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1923 ක් අයදුම් කර තිබූ අතර  බඳවා ගැනීමේදී සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් සම්මුඛ පරීක්ෂණයේදී ලබා තිබූ ප්‍රතිඵල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිළධාරීන්ට නියෝග කළේය.
නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා මාසයක් ඇතුළත අදාළ පුරප්පාඩු වූ තනතුරු සඳහා නිළධාරීන් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දී ඇති අතර විනිවිදභාවය ආරක්ෂා වීම සඳහා කණ්ඩායම් 24ක් පත් කර ඇත. සෑම කණ්ඩායමකටම නිළධාරීන් 3 දෙනෙකු සිටින අතර ඊට අමතරව උතුරු පළාත් මහජන නියෝජිතයන්ගෙන් එක් නියෝජිතවරයෙකු සහ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වන අයදුම්කරුවන් විසින් නම් කරන අයෙකු  නිරීක්ෂකයන් ලෙස සහභාගි වේ. ව්‍යාජ සහතික සහ ලියකියවිලි සහිතව ඉදිරිපත් වන්නන් සඳහා නීතිමය පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා විසින් අනතුරු අඟවන ලදී.
මේ අතර රැකියා වලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක්  සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩි දුරටත්  පෙන්වා දුන්නේය.